2025 වසර අවසානය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 නොවැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් හා සැසඳීමේදී 13.1%ක සැලකිය යුතු වර්ධනයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, මෙම සංචිත වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ විදේශ විනිමය සංචිතයේ ඉහළ යාමයි. 2025 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 5,944ක් ලෙස පැවති විදේශ විනිමය සංචිතය, දෙසැම්බර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,734ක් දක්වා 13.3%කින් ඉහළ ගොස් ඇත.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සංචාරක කර්මාන්තයේ ප්‍රකෘතිමත් වීම සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම මෙම සංචිත වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. 2022 වසරේ ඇති වූ දැඩි ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළම සංචිත මට්ටම මෙය ලෙස සැලකේ.