ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ වායු ගුණාත්මකභාවය අතිශය දුර්වල මට්ටමක් දක්වා පහත වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එරට වායු ගුණාත්මක දර්ශකය 418 ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම අගය හඳුන්වනු ලබන්නේ මිනිස් සෞඛ්‍යයට ඉතා අනතුරුදායක තත්ත්වයක් ලෙසයි. ඉදිරි දින කිහිපය පුරාම මෙම අයහපත් තත්ත්වය නොවෙනස්ව පවතිනු ඇති බවට අනාවැකි පළ වී තිබේ.
දිල්ලි වායු ගුණාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය නිවේදනය කර ඇත්තේ පවතින ශීත කාලගුණය සහ සුළං වේගය අඩුවීම හේතුවෙන් වාතයේ රැඳී ඇති දූවිලි සහ දුම් අංශු ඉවත් නොවී වායුගෝලයේම රැඳී පවතින බවයි. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, නගරය පුරා ඝන මීදුම් තත්ත්වයක් සමඟ අධික ශීතලක් ද පවතින බව සඳහන් කර ඇත.
මෙම විෂ සහිත වායු ගෝලය හේතුවෙන් කුඩා ළමුන්, වැඩිහිටියන් සහ ශ්වසන රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට දැඩි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතී. මේ හේතුවෙන් එළිමහන් කටයුතුවල නිරත වීම හැකිතාක් සීමා කරන ලෙසත්, අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසින් බැහැරට යන්නේ නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණ භාවිත කරන ලෙසත් ඉන්දීය සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම අපිරිසිදු වාතය නිවෙස් තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා දොර ජනේල වසා තැබීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇති අතර, වායු දූෂණය පාලනය කිරීම සඳහා නගරය තුළ විවිධ සීමා පැනවීමට ද බලධාරීන් සූදානම් වේ. මෙම තත්ත්වය හේතුවෙන් දිල්ලි වැසියන්ගේ දෛනික ජන ජීවිතයට මෙන්ම ගමනාගමන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබේ.