දළදා මාළිගාව නඩත්තු කිරීමට වසරකට රුපියල් කෝටි 150ක ප්‍රතිපාදන අවශ්‍යයි – දියවඩන නිළමේ පවසයි
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික කටයුතු සහ නඩත්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය. පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති “මෙහෙවරට බුහුමන්” ප්‍රණාම උලෙළ අමතමින් ඔහු මේ බව අවධාරණය කළේය.
දියවඩන නිළමේවරයා පෙන්වා දුන්නේ, දිනකට රුපියල් ලක්ෂ 50ක පමණ ආදායමක් උපයා නොගතහොත් මාළිගාවේ වගකීම් ඉටු කිරීම අපහසු වන බවයි. 2005 වසරේදී වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 800ක් වැනි මට්ටමක පැවති නමුත්, වර්තමානය වන විට පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් මෙය මෙවසරේ තමන් හමුවේ ඇති ප්‍රබල අභියෝගයක් බව ඔහු සඳහන් කළේය.
මෙම විශේෂ උත්සවය සංවිධානය කර තිබුණේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිය ධුරයට පත්ව වසර 20ක කාලයක් සපුරන මොහොතේ, දළදා මාළිගාවේ පෙරහැර ඇතුළු ආගමික වතාවත් සඳහා දායක වූ පිරිස් අගය කිරීම උදෙසාය. එහිදී මාළිගාවේ කාර්ය මණ්ඩලය, ප්‍රවීණ කලාකරුවන්, අලි ඇතුන් හිමියන් සහ හස්ති පාලකයන් ඇතුළු 453 දෙනෙකු බුහුමනට පාත්‍ර විය.
මල්වතු සහ අස්ගිරි උභය විහාරීය අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සහ සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.