දිට්වා සුළි කුණාටුවේ දරුණුතම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85 ක් ආවරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පවත්වන ලද නවතම සමීක්ෂණයකින් මෙරට ආපදා තත්ත්වය පිළිබඳ කනගාටුදායක තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එම වාර්තාවට අනුව, බලපෑමට ලක්වූ ප්‍රදේශවල ජනතාවගෙන් 93% ක්ම සිය ප්‍රධාන ජීවනෝපාය මාර්ග අහිමි වීමේ දැඩි අවදානමකට මුහුණ පා සිටින අතර, පීඩාවට පත් ජනතාවගෙන් 95% ක්ම සිය නිවාස, මාර්ග ඇතුළු ප්‍රජා යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බව තහවුරු කර ඇත.
කෙසේ වෙතත්, මෙම විනාශ වූ යටිතල පහසුකම් යළි පිළිසකර කිරීමේ ක්‍රියාවලිය වගකිවයුතු ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය හේතුවෙන් මන්දගාමී වී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. මීට අමතරව, ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේදී ජනතාවට එල්ල වී ඇති සීමාවන් නිසා තත්ත්වය තවදුරටත් බැරෑරුම් වී තිබේ. පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මැදිහත් වී කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සිය නිර්දේශ මගින් අවධාරණය කර සිටී.