ඉකුත් 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව, ඇප මත සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙලෙස අධිචෝදනා ගොනු කිරීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසි තමිම් රහ්මාන් නැමැත්තාටයි. ඔහු අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ නඩුකරය කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අධිකරණයට දැන්වූයේ, සැකකරුට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා අධිචෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව, මෙම නඩුව නැවත කැඳවීම සඳහා කෙටි දිනයක් ඉල්ලා සිටි පොලිස් නිලධාරීන්ගේ ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා, අදාළ පැමිණිල්ල විමසීම එළැඹෙන දෙසැම්බර් 05 වැනිදා කැඳවීමට නියම කළේය.