ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල පටිපාටියකට අනුව සිදු කළ බවත්, එහිදී පුද්ගල හිතවත්කම්වලට ඉඩක් නොදුන් බවත් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කරයි.
ඒ අනුව, ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ යළිත් පත් කර ඇති බව අමාත්‍යාංශය තහවුරු කළේය.
නව තේරීම් කමිටු සාමාජිකයින්:
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (සභාපති)
- ඉන්දික ද සේරම්
- තරංග පරණවිතාන
- විනෝදන් ජෝන්
- රසංජලී ද අල්විස්
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(1) වගන්තිය සහ මෑතකදී නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයට අනුව මෙම පත්වීම් සිදු කර ඇත. නව ගැසට් නිවේදනයට අනුව, තේරීම් කමිටුව කාන්තා ක්‍රීඩාවන් ද අධීක්ෂණය කරන්නේ නම් කාන්තා නියෝජනයක් තිබීම අනිවාර්ය වේ.
“ගැසට් නිවේදනයේ අවශ්‍යතාවය පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ප්‍රථම වරට කාන්තාවක් ඇතුළත් කර තිබෙනවා,” යනුවෙන් හිටපු ජාතික ක්‍රීඩිකාවක වන රසංජලී ද අල්විස්ගේ පත්වීම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.
පොදු මහජනතාව යෝජනා කරන විකල්ප පුද්ගලයින් පත් කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ක්‍රීඩා නීතියට අනුව පත්වීම් කළ යුත්තේ නිශ්චිත ක්‍රමවේදයකට බව පැහැදිලි කළේය:
- ක්‍රිකට් ආයතනය විසින් නම් 10 දෙනෙකුගෙන් සමන්විත ලේඛනයක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය.
- අමාත්‍යවරයා විසින් එම ලේඛනයෙන් පස් දෙනෙකු වසර දෙකක කාලයක් සඳහා තෝරා ගනු ලබයි.
- “මහජනතාව කියන පළියට අමාත්‍යවරයාට කැමති අය පත් කරන්න බැහැ. ප්‍රසිද්ධ චරිත වුවද නිල ලේඛනයේ නම නොමැති නම් ඔවුන්ව සලකා බැලිය නොහැකියි,” අමාත්‍යවරයා පැවසීය.
මීට පෙර සභාපති ලෙස කටයුතු කළ උපුල් තරංග මහතාගේ නිල කාලය අවසන් වීමෙන් පසු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මෙම ධුරයට පත් විය. ලබන පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් තේරීම මෙම නව කමිටුව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයයි.