කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය පරීක්ෂාවට ලක් නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමේ යෝජනාව ඊයේ (17) දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කොට තිබේ.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාවට එකඟත්වය පළ වී ඇති අතර, ඉන් අනතුරුවයි එය න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට තීරණය කර ඇත්තේ.
මෙම විශේෂ කාරක සභාව පත්කිරීමේ අරමුණ වන්නේ, කොළඹ වරායෙන් බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයකට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත්ය.
පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ මෙම යෝජනාව දින පහක් තිබිය යුතු අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය අනුව එය න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ඇත. අනතුරුව පාර්ලිමේන්තුවේදී එය සම්මත වූ පසුව කථානායකවරයාට මෙම විශේෂ කාරක සභාව පත්කිරීමේ හැකියාව ලැබේ.
මෙම බහාලුම් 323 පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලිඛිතව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර, ඉන් අනතුරුව එම යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත යොමු වී තිබුණි.