ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය දෙවන වර කියවීම අද (31) වැඩි ඡන්ද දෙකකින් සම්මත විය. මීට පෙර පළමු අවස්ථාවේදී අයවැය පරාජයට පත්වීම හේතුවෙන් නගර සභාවේ පාලනය පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී තිබූ පසුබිමක, මෙම ජයග්‍රහණය පාලක පක්ෂය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.
අද පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 56ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද දෙකක් ලබාගනිමින් අයවැය සම්මත කර ගැනීමට නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය ප්රමුඛ පාලක පක්ෂය සමත් විය. ඡන්ද විමසීම පැවැති අවස්ථාවේදී සභාව තුළ උණුසුම් වාතාවරණයක් ද දක්නට ලැබුණි.
කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පසුගිය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්ද 03කින් පරාජයට පත් විය. එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි. එම පරාජයෙන් පසු පැන නැගුණු අභියෝග මධ්‍යයේ නගරාධිපතිනිය විසින් අද දිනයේදී යළිත් වරක් අයවැය සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
මෙම අයවැය සම්මත වීමත් සමඟ කොළඹ නගර සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සහ ජනතා සුභසාධන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාමට අවස්ථාව සැලසේ. පළමු වර අයවැය පරාජයට පත් වූ පසු විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙවර සිය තීරණය වෙනස් කිරීම මෙම ජයග්‍රහණයට සෘජුවම බලපා ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.