මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, බීජිංහිදී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයකට අනුව, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට කළ ආරාධනය සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් අගමැතිවරිය චීන රජයට සිය කෘතඥතාව පළ කළාය.
මෙම හමුව අතරතුර, අගමැතිවරිය විසින් චීනයේ 76 වන සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර, අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළෙඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බව සඳහන් කර තිබේ.
අගමැතිවරිය, ශ්‍රී ලංකාව ගෙන යන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම මෙන්ම, දරිද්‍රතාවය තුරන් කිරීම, ඩිජිටල් පරිවර්තනය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ඇතුළු ජාතික ප්‍රමුඛතා පිළිබඳව චීන අගමැතිවරයා දැනුවත් කළාය.
ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, නිල ණය හිමි කමිටුවේ සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෑත කාලීන ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව පැහැදිලි කළ අතර, ඒ සඳහා චීනය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පැසසුමට ලක් කළාය.
තවද, චීනයේ එක් තීරයක් එක් මාවතක් (BRI) ව්‍යාපෘතිය යටතේ ලැබෙන අඛණ්ඩ සහයෝගීතාව පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ජාතික හා කලාපීය සම්බන්ධතාවයට චීනයේ භූමිකාව අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය, වෙළඳාම සහ ආයෝජන සඳහා වන අවස්ථා පිළිබඳව සඳහන් කරමින්, හම්බන්තොට ඇසුරුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සිදු කළ යෝජනාව සහ චීන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ අංශයට සහයෝගය ලබා ගත හැකි මාර්ග පිළිබඳව අවධානය යොමු කර ඇත.
අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්රවල සහයෝගීතාවද සාකච්ඡාවට බඳුන් වූ අතර, කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමද අග්‍රාමාත්‍යවරිය විසින් චීන අගමැතිවරයා ඉදිරියේ තහවුරු කරන ලදී.