චීන රජය, ශ්‍රී ලංකාවේ රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 දෙනා සඳහා 2026 වර්ෂයට අවශ්‍ය සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රමාණය ප්රදානය කිරීමට එකඟ වී ඇත.
ඒ සඳහා අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ උත්සවය ඊයේ (11) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ මූලස්ථානයේ දී පැවැත්විණි. උත්සවයට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහත්වරුන් ප්‍රධානත්වය දරා තීබේ.
එහිදී අදාළ සහතිකය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන තානාපති Qi Zhenhong මහතා අතර හුවමාරු කරන ලදී.
අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා අවස්ථාවේදී ප්‍රකාශ කළේ, “2025 වර්ෂය සඳහාද චීනය රෙදි මීටර් මිලියන 11.82ක දායකත්වයක් ලබා දුන් බවත්, ඒ මඟින් ජාතික අවශ්‍යතාව සම්පූර්ණයෙන් ආවරණය වූ අතර රට පුරා සිසුන් මිලියන 4.6කට වැඩි පිරිසකට ප්රතිලාභ සලසන බවත්, රුපියල් බිලියන 5.17කට වැඩි වටිනාකමක් ඇති මෙම දායකත්වය සෑම සිසුවකුටම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් අධ්‍යාපනය හැදෑරීමට මඟ පාදා ඇති බැවින් 2026 සඳහාද එවැනි ම සෘජු සහයෝගය ලබාදීම ඉතාමත්ම අගය කළ යුතු බවය.