යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ සිව්වන අදියරේ කැනීම් කටයුතු ඊයේ (26) හය වන දිනටත් සිදුකළ අතර, එහිදී තවත් මිනිස් සිරුරු 11කට අදාළ අස්ථි කොටස් මතුකරගත් බව කැනීම් නිලධාරීන් පවසයි. ඒ අනුව, මෙම සමූහ මිනීවළ තුළින් මේ වන විට සොයාගෙන ඇති මුළු මිනිස් සිරුරු සංඛ්‍යාව 101 දක්වා ඉහළ ගොස් ඇත. මෙයින් සිරුරු 90කට අදාළ අස්ථි කොටස් දැනටමත් ගොඩගෙන තිබේ.
මෙම අස්ථි කොටස් ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 2025 පෙබරවාරි මස 20 වැනි දින යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදීය. අනතුරුව යාපනය පොලීසිය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය දැනුවත් කිරීමෙන් පසු, අධිකරණ නියෝග මත අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරන ලදී.
විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ සිදුකරන මෙම කැනීම් කටයුතුවලදී විවිධ අවස්ථාවලදී මෙම අස්ථි කොටස් හමුවී ඇත. සිව්වන අදියරේ කැනීම් කටයුතු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ එළඹෙන අගෝස්තු මස 04 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙහි තුන්වන අදියරේ කැනීම් කටයුතු පසුගිය ජූනි 26 වැනිදා සිට ජූලි 10 වැනිදා දක්වා පැවැත්විණි.
මෙම සමූහ මිනීවළ සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවත් මෙම කටයුතු නිරීක්ෂණය කරන නීතීඥ වී.කේ. නිරංජන් මහතා පවසයි. කැනීම් නිලධාරීන් විසින් සමූහ මිනීවළ ස්කෑන් පරීක්ෂාවකට ලක්කළ යුතු බව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති අතර, අධිකරණ නියෝග යටතේ අදාළ ඉල්ලීම ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙම සමූහ මිනීවළ තුළින් මේ වන විට විවිධ ද්‍රව්‍ය 46ක් හමුවී ඇති බව නීතීඥ නිරංජන් මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අතර, රබර්වලින් සකස් කරන ලද බෝනික්කෙකු, සපත්තු යුගලක්, කුඩා දරුවන් පළඳින වළලු යුගලක්, කුඩා දරුවන්ට කිරි පානයට ලබා දෙන කිරි බෝතලයක්, සහ මිනිස් ඇඳුම් කොටස් කිහිපයක් වැනි විවිධ ද්‍රව්‍ය රැසක් ඇතුළත් වේ.
කුඩා දරුවන් භාවිතා කරන පාසල් බෑගයක්, බෝනික්කෙකු සහ වළලු වැනි ද්‍රව්‍ය මතුවීමත් සමඟ, මෙම සමූහ මිනීවළ තුළ කුඩා දරුවන් ද මිහිදන් කර ඇති බවට සැක පහළ වී තිබේ.
මෙම චෙම්මනි සිත්තුපාත්තු මිනීවළ උතුරු පළාතෙන් හමුවූ දෙවන විශාලතම මිනීවළ බවට පත්ව ඇත. මීට පෙර, මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේදී 2018 වසරේදී සමූහ මිනීවළක් සොයාගැනුණු අතර, එහි මිනිස් සිරුරු 342කට අදාළ අස්ථි කොටස් හමුවිය. එය මේ දක්වා උතුරු පළාතෙන් හමුවූ විශාලතම සමූහ මිනීවළ ලෙස සැලකේ.
යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනීවළවල් වාර්තා වී ඇත. 2013 වසරේදී මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් හමුවූ සමූහ මිනීවළකින් මිනිස් සිරුරු 88කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් සොයාගැනීමට හැකි විය.
මෙම කැනීම් කටයුතු සහ ඉදිරි පරීක්ෂණ පිළිබඳව තවත් තොරතුරු අපේක්ෂා කෙරේ.