සහල් සඳහා නියමිත මිලට වඩා වැඩි මිලට අලෙවි කළ සහ සඟවා තබාගත් වෙළෙඳසැල් 135ක වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පවසයි.
පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී මෙම වෙළෙඳසැල් හඳුනාගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ, සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා ගන්නා වෙළෙඳුන්ට එරෙහිව වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.
වැඩි මිලට සහල් අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් වරදකරු වුවහොත්, ඔහුට එරෙහිව රුපියල් ලක්ෂයක සිට ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක් හෝ දඩ මුදල සහ සිර දඬුවම යන දෙකම නියම කිරීමට හැකියාව ඇත.
පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම්, රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කළ හැකිය.
එමෙන්ම, සහල් සඟවා තැබීම සම්බන්ධයෙන් වරදකරු වුවහොත්, ඉහත දඬුවම්වලට අමතරව අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට ද පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ හැකියාව පවතින බව එම අධිකාරිය අවධාරණය කරයි.