පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ වැඩසටහන අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
1964 වසරේ ඉදිකර තිබෙන මෙම මධ්‍යම බස් නැවතුම්පොළ වසර 60කට පසු පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වීම විශේෂ අර්ථවත් අවස්ථාවක් ලෙස සැලකේ.
මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 424ක් වියදම් කිරීමට නියමිත අතර, නව විවේකාගාර, තොරතුරු මධ්‍යස්ථාන, ආරක්ෂක පද්ධති සහ අනෙකුත් නව පහසුකම් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත. නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉටු කරනු ලබයි.
ඉන් අතිරේකව, “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක “සිහින ගමනාන්තය” වැඩසටහන අනුව මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණය ද අද ආරම්භ කිරීමට නියමිතය. එහිදී, එම දුම්රිය ස්ථානයේ ඓතිහාසික ගුණාංග හා පැරණි හැඩතල රැකෙමින් නවීකරණය සිදු කිරීමට අවධානය යොමු කෙරේ.