බිත්තරයක මිල රුපියල් 70 දක්වා ඉහළ යන බව කියමින් මවා පෑවද, බිත්තරය රුපියල් 45 සීමාවෙන් අඩුවට පාරිභෝගිකයාට ලබා දෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, රුපියල් 70 සීමාවට බිත්තර මිල ඉහළ යන බවට විවිධ පාර්ශ්ව විසින් වැරදි තොරතුරු සමාජගත කර මෙම ක්ෂේත්‍රය වැට්ටවීමට උත්සාහ කර ඇති බවය.
නිෂ්පාදකයා මිල නියම කළායින් පසු අතරමැදියන් තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයාත්, ගොවියාත් අතරමං වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
විශාල මිලක් යන බවට තොරතුරු ලැබීම නිසා පාරිභෝගික කටයුතු හා වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා තම සංගමය කැඳවූ බවත්, ඒ වනවිට ඇමතිවරයා දැනුම්වත් වී සිටියේ ඉකුත් ආපදාවෙන් සතුන් ලක්ෂ 30ක් පමණ මියගොස් ඇතැයි යනුවෙන් බවත් සභාපතිවරයා කීය.
එහෙත්, දැදුරු ඔය නිම්නයේ මියගිය සතුන් ලක්ෂ පහක් සමගින් දිවයිනේ මියගොස් ඇත්තේ සතුන් ලක්ෂ 8ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, මේ නත්තලින් පසුව රුපියල් 35ත් 40ත් අතර මුදලකට බිත්තර මිල ස්ථාපිත වන බව ඇමතිවරයාට පැහැදිලි කළ බව සභාපතිවරයා පැවසීය.
ආපදා තත්ත්වය බිත්තර නිෂ්පාදනයට බලපෑ අයුරු පැහැදිලි කරමින් ඔහු මෙසේ ද කීවේය: “පසුගිය වැසි සහ සුළං කාලේ තහඩු හුළඟෙ ගිහින් ඇතුළවල් තෙමුණා. තදින් වැස්ස තිබුණ අවධියේ විදුලිය විසන්ධිවීමෙන් ජල පහසුකම් නැතිවුණා වගේම කෑම දෙන්න සේවකයන්ට යන්න බැරිවුණා. සත්තුන්ට කෑම නැතිව බිම තියන අපද්‍රව්‍ය ආහාරයට අරං බිත්තර දාන ප්‍රමාණය අඩුවුණා. බේකරිවලට දැන් තියෙන ඉල්ලීම නත්තලෙන් පස්සෙ නැතිවෙනවා. මේ සියල්ල අපි ඇමතිවරයාට පහදලා දුන්නා.”