බත්තරමුල්ල, දියත උයන ආසන්නයේදී ධාවනය වෙමින් තිබූ වාහන කිහිපයකට යතුරුපැදිකරුවෙකු විසින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල ලෙස සංසරණය වෙමින් පවතී. ඊයේ (12) සවස් කාලයේදී සිදු වූ මෙම සිදුවීමේදී, අදාළ යතුරුපැදිකරු සිය අතෙහි තිබූ ආයුධයක් වැනි උපකරණයක් භාවිත කරමින් මාර්ගයේ ගමන් ගත් වාහනවලට හානි සිදු කරන අයුරු එහි දැක්වේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක්, සැකකාර යතුරුපැදිකරුව හඹා ගොස් ඉතා කෙටි වේලාවක් තුළ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා විසින් මාර්ගයේ ධාවනය වූ වාහන හතරකට පමණ අලාභහානි සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු බව හඳුනාගෙන ඇත. ඔහු අද (13) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම ප්‍රහාරයට හේතුව සහ සැකකරුගේ පසුබිම පිළිබඳව වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.