අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ පියවරක් ලෙස, හෙට (20) සිට බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ධාවනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව බදුල්ල සහ අඹේවෙල යන දුම්රිය ස්ථාන දෙක අතර දිනපතා දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක වනු ඇත.
නව ධාවන සැලසුමට අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් සෑම දිනකම පෙරවරු 9.00 ට සහ පස්වරු 3.00 ට දුම්රියන් දෙකක් අඹේවෙල දක්වා ගමන් කිරීමට නියමිතය. එමෙන්ම අඹේවෙල දුම්රිය ස්ථානයෙන් ද පෙරවරු 9.30 ට සහ පස්වරු 3.00 ට බදුල්ල බලා දුම්රියන් දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මගී පහසුව සඳහා මෙම දුම්රියන් සඳහා වායු සමනය කළ පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක් එක් කර තිබීමයි. මීට අමතරව දෙවන පන්තියේ සහ තෙවන පන්තියේ වෙන් කළ ආසන මැදිරි ද සහිතව මෙම දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.
නායයෑම් සහ පස් කඩා වැටීම් හේතුවෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ සෙසු කොටස් පිළිසකර කිරීමේ කටයුතු ද මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.