දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නෝර්වුඩ් ස්ටොක්හොම් වතුයායේ අවතැන්ව සිටින වතු කම්කරුවන් පිරිසක් තමන්ට පදිංචිය සඳහා සුදුසු ඉඩම් ඉල්ලා අද (17) විරෝධතාවක නිරත වූහ. ස්ටොක්හොම් වතුයායේ තේ කර්මාන්තශාලාව ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට භාරතීපුරම් දෙමළ මහා විද්‍යාලයේ තාවකාලිකව පදිංචි කර සිටින පවුල් 50කට අයත් සාමාජිකයෝ සහභාගී වූහ.
නායයෑමේ අවදානමක් හේතුවෙන් මෙම පිරිස ආරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයා සහ වතු පාලන අධිකාරිය මීට පෙර පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් එම භූමිය පරීක්ෂා කර බලා නායයෑමේ අවදානමක් නොමැති බවට නිර්දේශ කිරීමත් සමඟ, වහාම කඳවුරුවලින් ඉවත් වන ලෙස නිලධාරීන් දැනුම් දී ඇති බව විරෝධතාකරුවෝ පවසති.
වතු කම්කරුවන් චෝදනා කරන්නේ මස්කෙළිඔයට ඉහළින් පිහිටි තම වතුයායේ ඉඩම් මේ වන විටත් විශාල ලෙස ඉරිතලා ඇති බවත්, පවතින තත්ත්වය මත තම නිවාසවල බිත්ති පුපුරා කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බවත්ය. එම නිවාසවල නැවත පදිංචි වීමට තමන් බිය වන බවත්, ඒ වෙනුවට නිවසක් ඉදිකර ගැනීම සඳහා එම වතුයායෙන්ම සුදුසු ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
වතු ජනතාව වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබා ඇති බවත්, තමන්ට ආරක්ෂිත ඉඩම් කැබැල්ලක් ලබා දීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් විරෝධතාකරුවෝ වැඩිදුරටත් සඳහන් කළහ. එතෙක් තමන් රැඳී සිටින ආරක්ෂිත මධ්‍යස්ථානයෙන් ඉවත් නොවන බවට ද ඔවුහු දැඩි ලෙස ප්‍රකාශ කර සිටිති.