ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරය ආශ්‍රිතව පැවැති යුදෙව් ජාතිකයන්ගේ සැමරුම් උත්සවයකට ඊයේ (දෙසැම්බර් 14) එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටින බව සඳහන් වේ.
සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම් මාලාවට අදාළව කරුණු රැසක් හෙළිකර ගැනීමට නිව් සවුත් වේල්ස් පොලීසිය සමත් වී ඇත. ඒ අනුව අදාළ වෙඩික්කරුවන් දෙදෙනා එකම පවුලේ පියා සහ පුතා වන බවට ද අනාවරණය කර ගෙන ඇත.
එහිදී එක් වෙඩික්කරුවෙකු මිය ගිය අතර, එලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියා වන බවටත්, පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයා මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවටත් සඳහන් වේ.
අදාළ උත්සවයට දහසකට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර, වෙඩික්කරුවන් ඔවුන් ඉලක්ක කර සමූහ වෙඩි තැබීමක් සිදු කර තිබිණි. එම අවස්ථාවේ එහි සිටි සිවිල් පුද්ගලයකු විසින් එක් වෙඩික්කරුවකුගේ ගිනිඅවිය උදුරාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය වෙඩික්කරුට අයත් වාහනයක තිබී පසුව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන තිබේ. මෙම වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් බවට නිව් සවුත්වේල්ස් පොලිසිය ඊයේ පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශ කළ අතර, මෙය යුදෙව් විරෝධී ක්‍රියාවක් බව ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා ද සඳහන් කළේය.