දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙටට (දෙසැම්බර් 04) යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී වන්දනාමාන කටයුතු සඳහා අනුරාධපුරයට නොපැමිණෙනවා නම් වඩාත් සුදුසු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
අනුරාධපුරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
“වෙනදා වාගේ නැතිව පවතින වාතාවරණය පිළිබඳව නුවණින් කල්පනා කරලා අනුරාධපුරයට දුරබැහැරින් එන සැදැහැවතුන් මේ පොහොය දවසේ වන්දනාමාන කිරීම සඳහා නොපැමිණෙනවා නම් හොඳයි කියන එක මගේ පෞද්ගලික අදහස. අපි ආගමික වතාවත් කිසිදෙයක් අඩු නැතුව සිදුකරනවා. ඒ වගේම මේ ව්‍යසනයෙන් විපතට පත් වුණු සහ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා.”
උඳුවප් පොහොය දිනය යනු සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් දඹදිව බුද්ධගයාවේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවාගෙන අනුරාධපුරයේ මහමෙව්නාවේ රෝපණය කළ සුවිශේෂී දිනයයි.