රුපියල් කෝටි හතරයි ලක්ෂ හැටකට අධික මුදලක් උපයාගත් ආකාරය සහ එහි මූලාශ්‍ර සාධාරණීකරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා අද දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද වන ඒ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එහිදී සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම පියවර ගෙන තිබේ. රුපියල් 40,600,000කට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රකාශයන්හි පරස්පරතා නිරීක්ෂණය වීමෙන් පසු කොමිසම විසින් සැකකරු නිල වශයෙන් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන අනුෂ පැල්පිට මහතා අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වත්කම් බැරකම් හෙළි නොකිරීම සහ අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ පැමිණිලි මත මෙම විමර්ශනය ක්‍රියාත්මක විය.