ඊයේ (නොවැම්බර් 04) අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය අසලදී සිදුවූ ව්‍යාපාරිකයාගේ වෙඩි තබා ඝාතනය, මීටියාගොඩ ප්‍රදේශයේදී මීට පෙර සිදුවූ ඝාතනයක පළිගැනීමක් ලෙසට විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.
විමර්ශනවලට අනුව, පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර මීටියාගොඩදී ඝාතනය වූ ‘මහදුම නලීන්’ නැමැත්තාගේ පුත්‍රයා වන ඉසුරු, ඊයේ ඝාතනය වූ ව්‍යාපාරිකයාගේ පුත්‍රයාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් “උඹේ තාත්තාව මැරුවේ මමයි. මගේ තාත්තා මරපු පළිය මම ගත්තා” යනුවෙන් පවසා ඇත. ඉසුරු නැමැත්තා විදෙස්ගතව සිටින අයෙකි.
ඝාතනයට ලක්ව ඇත්තේ පෝරඹ පාළුවත්ත පාරේ පදිංචි, බහුදින යාත්‍රා හිමිකරුවකු වන 51 හැවිරිදි වර්ෂවිතාන මිරන්ත නැමැති දෙදරු පියෙකි. මොහු විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කරන්දෙණියේ සුද්දාගේ’ වැඩිමහල් සහෝදරියගේ සැමියා බව පොලීසිය පවසයි.
- ඝාතනය වූ මිරන්ත මහතා යතුරුපැදියෙන් බැංකුවක සිට අම්බලන්ගොඩ වරායට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
- ඔහුගේ ගෙල, මුහුණ හා පපු ප්‍රදේශයට මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ.
- ඔහු අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දේවාල කමිටුවේ සභාපතිවරයා මෙන්ම, පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගය ලැයිස්තුවේ සිටි අපේක්ෂකයෙකි.
පසුගියදා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘කපු මහතා’ ප්‍රධානත්වය දරන දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙස ඝාතනය වූ පුද්ගලයා කටයුතු කර ඇත. එම කපු මහතා ‘ලොකු පැටී’ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයකු වීමත්, ලොකු පැටීගේ රුපියල් කෝටි 33ක කළු මුදල් සුදුකිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා ගැන ඇතිවූ සැකයක් මත මෙම අපරාධය සිදුවූයේද යන්න පිළිබඳව ද විමර්ශන සිදුවන බව පොලීසිය පවසයි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී නගර සභා සැසිවාරය පැවැති පුස්තකාල ගොඩනැගිල්ලේ උඩුමහලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් වෙඩි ශබ්දය ඇසී කලබලයට පත්ව උඩුමහලට දිව ගොස් තිබූ අතර, නගර සභා රැස්වීම ද කල් තැබීමට සභාපතිවරයා පියවර ගත්තේය.
වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථය කරන්දෙණිය, එගොඩවෙල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය සොයාගෙන ඇත. ඝාතනයට නිශ්චිත හේතුව තවමත් අනාවරණ වී නොමැති අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත විමර්ශන කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ වසරේ මේ දක්වා කාලය තුළදී වෙඩි තැබීම් 104ක් සිදුව ඇති අතර, ඉන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් 53 දෙනෙකු තුවාල ලබා තිබේ.