වාහන අනතුරු සම්බන්ධ රස පරීක්ෂක වාර්තා පෞද්ගලික රක්ෂණ සමාගමකට වාසිදායක ලෙස සකස් කර දීම සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක රස පරීක්ෂක එච්.එල්. ඩබ්ලිව් ජයමාන්න සහ අදාළ රක්ෂණ සමාගමේ උප සභාපතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළේය. ඇප ලබා දීමේදී සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය පියවර ගත්තේය.
මෙම නඩු විභාගයට අදාළ සාක්ෂිකරුවන්ට කිසිදු ආකාරයක බලපෑමක් නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කළේය. රක්ෂණ සමාගමේ රක්ෂණය කර ඇති වාහන අනතුරට පත් වූ අවස්ථාවලදී, එම සමාගමට මූල්‍යමය වාසි සැලසෙන අයුරින් රස පරීක්ෂක වාර්තා ලබාදීම සඳහා අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.