කෘත්‍රිම බුද්ධිය (AI) වැරදි ලෙස භාවිතා කරමින් නිර්මාණය කරන අසභ්‍ය වීඩියෝපත් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ඒ ඒ සමාජ මාධ්‍ය සමාගම් වෙත යොමු කිරීම හැර වෙනත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තම ආයතනයට නොමැති බව එම කොමිසමේ උසස් නිලධාරිනියක් සඳහන් කළාය.
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ පොලිසියට මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ හැකියාවක් පවතින බවත්, එම විමර්ශන සඳහා තාක්ෂණික සහාය පමණක් ලබා දිය හැකි බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මේ අතර, කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකස් කර ඇති අසභ්‍ය වීඩියෝපට ගණනාවක් මේ වන විට යූටියුබ්, මුහුණු පොත (Facebook), ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ ද සංසරණය වී ඇති බව අනාවරණය වී තිබේ.