මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (දෙසැම්බර් 12) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙරට සමස්ත භූමියෙන් 30%ක් නායයෑමේ සිදුවන බවට හඳුනාගෙන ඇති බවය. එමෙන්ම මෙලෙස හඳුනාගත් ප්‍රදේශයේ ජනගහනය 34%ක් සිටින බවද පැවසූ ඒ මහතා, එම සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක් පමණ වන බව ද කියා සිටියේය.
‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සමඟ නායයෑමට ලක්විය හැකි ස්ථාන පරීක්ෂා කරදීමට ඉල්ලීම් 2,710ක් ලැබී ඇති බවත්, මේ වනවිට ඉන් 589ක් පරීක්ෂා කර අවසන් බවත් වසන්ත සේනාධීර මහතා පැවසීය.
ආපදාවට ලක්වූ ස්ථානයන් සම්බන්ධයෙන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව, මීටර් 10ට වඩා වැඩියෙන් නාය ගිය ස්ථාන 1,241ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් නිවාසවලට බලපෑම් ඇති වූ නායයෑම් 322ක් වාර්තා වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට ලැබෙන තත්කාලීන තොරතුරු මත අනතුරුදායක තත්ත්වය හඳුනාගෙන පුද්ගලයින් 15,000කට අධික සංඛ්‍යාවක් එම ස්ථානවලින් ඉවත්වෙන ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා දැනුවත් කර ඇතැයි ද පැවසූ වසන්ත සේනාධීර මහතා, තමන් සිටින තත්ත්වය තේරුම් ගෙන අදාළ උපදෙස් පිළිපඳින ලෙස ද කියා සිටියේය.
මීට පෙර ඇති වූ ආපදා හේතුවෙන් බොහෝමයක් ජීවිත අහිමි වී ඇත්තේ පස් කණ්ඩි කඩා වැටීමෙන් වන අතර, ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන ලෙසද වසන්ත සේනාධීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. අනවසර හෝ වෙනත් ආකාරයේ නිවාස හෝ ගොඩනැඟිලිවල සිටින පුද්ගලයින් ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීම වැදගත් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.