ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට (SLEAS) අලුතින් බඳවාගත් නිලධාරීන් කාර්යක්ෂමව රාජකාරී කිරීමට සූදානම් කිරීමේ අරමුණින් ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවට අනිවාර්ය වන සේවාරම්භක පුහුණුව මේ දිනවල සිදු කෙරේ.
අධ්‍යාපන පද්ධතියට එක්වන මෙම නව නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය වන පරිදි ඔවුන් බලගැන්වීම මෙම පුහුණුවේ අරමුණ වන අතර, ඉදිරි අධ්‍යාපන පරිපාලනය ශක්තිමත් කිරීමට එය මනා පිටුබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පුහුණු වැඩසටහනට විවෘත සහ සීමිත පදනම මත බඳවා ගත් නිලධාරීන් 500ක් පමණ සම්බන්ධ වී සිටිති. විවෘත පදනම මත බඳවාගත් නිලධාරීන් මේ දිනවල ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) නේවාසික පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වන අතර, සීමිත පදනම මත බඳවාගත් නිලධාරීන් මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නේවාසික ආයතනගත පුහුණු වැඩසටහන් සම්පූර්ණ කරමින් සිටිති.
මෙම සේවාරම්භක පුහුණු වැඩසටහන මගින් නව නිලධාරීන්ගේ නවෝත්පාදනමය ශක්‍යතා, උසස් නායකත්ව ලක්ෂණ සහ පුළුල් ධාරිතා ශක්තිය වැනි පෞරුෂ ගුණාංග ඉහළ නැංවීම අරමුණු කරයි. එමගින් අධ්‍යාපන පද්ධතියේ පරිපාලන කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ මට්ටමකට ගෙන යාමට අපේක්ෂිතය.
මෙවැනි පුහුණු වැඩසටහන් මගින් අධ්‍යාපන පරිපාලන සේවයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වඩාත් ප්රශස්ත මට්ටමකට ගෙන ඒමටත්, සදාචාරවත් අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීමටත් වැඩි ඉඩකඩක් සැලසෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.