පොලිස් මූලස්ථානය විසින් අන්තර්ජාලය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදුවන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිවේදනයක් නිකුත් කර තිබේ. දෛනිකව Telegram, WhatsApp වැනි ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන වංචා පිළිබඳව පැමිණිලි වාර්තා වන බව පොලීසිය පෙන්වා දෙයි. මෙම වංචාවලදී පුද්ගලයන් රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද (User Name /Password), QR කේත වැනි රහස්‍ය තොරතුරු ලබා ගැනීම ප්‍රධාන වශයෙන් සිදුවේ. එසේම, මාර්ගගත රැකියා අවස්ථා ලබා දෙන බව පවසා විවිධ ගිණුම්වලට මුදල් බැර කර ගැනීම් ආදී වංචා සිදු කරන බවට ද නිරීක්ෂණය වී ඇත.
මෙවැනි අන්තර්ජාල වංචාවලට හසු නොවීමට නම්, අන්තර්ජාලය භාවිතා කිරීමේදී අවබෝධයෙන් ක්‍රියා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව, නොදන්නා පුද්ගලයින් හෝ සමාජ මාධ්‍ය සමූහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබා දෙන බව සඳහන් කරමින් සිදු කරනු ලබන වංචනික පොළඹවා ගැනීම්වලට හසු නොවී සිටීම අත්‍යවශ්‍ය වේ. එසේම, නොදන්නා පාර්ශ්වයන් පළ කරන අන්තර්ජාල දිගු (Links) සහ ස්කෑන් කේත භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය.
ඊට අමතරව, සයිබර් අවකාශය තුළ නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමඟ බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, හෝ සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතය සඳහා අවසර ලබා දීම වැනි ක්‍රියාවලින් වළකින්න. කිසිම අවස්ථාවකදී ගිණුම් අංක, මුරපද හෝ OTP කේත බාහිර පුද්ගලයින් සමඟ හුවමාරු කර නොගත යුතුය. අවසාන වශයෙන්, නොදන්නා පුද්ගලයින් ලබා දෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේදී සහ අන්තර්ජාල දිගු භාවිතා කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිමත් වීම මෙන්ම, විද්‍යුත් උපකරණයේ ප්‍රදේශ අවසරය (Location Permission) ලබා නොදීම පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස පොලීසිය අවධාරණය කරයි.