2020 සිට 2024 දක්වා විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට 2025 අයවැයෙන් දැඩි අසාධාරණයක් සිදුව ඇති බව “20-24 විශ්‍රාමික එකමුතුවේ” සභාපති මාලික විමලසූරිය මහතා කොළඹ මාධ්‍ය හමුවකදී පැවසීය.
ඔහු පැහැදිලි කළේ, මෙම කාලය තුළ විශ්‍රාම ගිය සේවකයන් භාණ්ඩ සහ සේවා මිල ඉහළ යද්දී, උද්ධමනයට ගැලපෙන මූලික වැටුප් සංශෝධනයක් නොමැතිව කාලයට නොගැළපෙන විශ්‍රාම වැටුපක් සමග විශ්‍රාම ගිය බවයි.
එමෙන්ම, මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය මැයි 2 වැනිදා සිදු කරන ලෙස ආණ්ඩුව පොරොන්දු වූවත් එය ඉටු කර නොමැති බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය ද පසුගිය මස 2 වැනිදා අලුත් පොරොන්දුවක් ලබා දුන්නද මේ දක්වා කිසිදු සාර්ථක ප්‍රතිචාරයක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.