බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු රුපියල් කෝටි 2කට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලීසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට පත් වූ අනෙක් දෙදෙනා අතර කොස්තාපල්වරයාගේ බිරිඳ සහ මත්පෙති සැපයූ බව කියන පුද්ගලයාද වන බව පොලීසිය සඳහන් කළේය.
මෙම නිවස තුළ ගබඩා කර තිබී මිලිග්‍රෑම් 150 මත්පෙති පෙට්ටි 21ක් සහ මිලිග්‍රෑම් 300 මත්පෙති පෙට්ටියක් සොයාගෙන ඇති අතර, ඒවායේ සම්පූර්ණ මත්පෙති ප්‍රමාණය 1,330,420ක් බව පොලීසිය පවසයි. මෙම මත්පෙති තොගය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.
කොහුවල පොලීසියේ රථවාහන අංශයට අනුයුක්ත මෙම කොස්තාපල්වරයා, බොරලැස්ගමුව, බෙල්ලන්විල, ජය මාවත ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් නිවස තුළ මත්පෙති ගබඩාවක් පවත්වාගෙන යමින් දිවයින පුරා බෙදා හරින බවට මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.