නැවතත් වරාය තුළ බහාලුම් රථ තදබදයක් පවතින බව බහාලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසයි. අදාළ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවට ඔහු අද (ජුනි 24) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කළේය.
තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා වරායට අයත් භූමියේම කොටසක් රේගුවට ලබාදෙමින් සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කර දී තිබුණද, මෙතෙක් එකදු රථයක්වත් එම භූමියට ඇතුළත් කර නොමැති බව ඒ මහතා සඳහන් කරයි. මේ නිසා කන්ටේනර් රථ රියදුරන් සහ හිමිකරුවන් ඇතුළු බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ඔහු පෙන්වා දෙයි.
මෙම තත්ත්වය දිගටම පැවතියහොත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායන් වෙතට ගමන් කිරීමේ අවදානමක් පවතින බවත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම් රථවල ඇති බැවින් ඒවා කල් ඉකුත්වීමේ හැකියාවක් ඇති බවත් මංජුල මහතා පවසයි. මෙම තත්ත්වයන් සමනය කර ගැනීම සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙසට ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.