ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මේ දිනවල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. විශේෂයෙන්ම උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය ඉහළ ගොස් ඇති බව එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඊයේ සහ අද දිනයන් තුළ සිදුකළ නිරීක්ෂණවලට අනුව වායු තත්ත්ව දර්ශකය 150ත් 200ත් අතර අගයක පවතින බව වාර්තා වේ. අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසම් සුළං සක්‍රිය වීමත් සමඟ අසල්වැසි රටවලින් ගලා එන වායු දූෂක අංශු මෙරට වායුගෝලයට එක්වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙම තත්ත්වය පසුගිය වසර කිහිපය පුරාවටම දෙසැම්බර් මාසය තුළ නිරීක්ෂණය වූ බවත්, මධ්‍යම පරිසර අධිකාරිය මේ පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන බවත් ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. වායු ගුණාත්මකභාවය පහළයාම හේතුවෙන් ස්වසන අපහසුතා ඇති පුද්ගලයින් සහ සංවේදී පුද්ගලයින් ඒ පිළිබඳව සැලකිලිමත් වීමත්, අවශ්‍ය වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් සුදුසු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, වායු ගෝලයේ පවතින මෙම අහිතකර ස්වභාවය අද දිනයෙන් පසුව ක්‍රමයෙන් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. පරිසර තත්ත්වයන් වෙනස් වීමත් සමඟ වායුවේ ගුණාත්මකභාවය යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද බලධාරීන් විශ්වාසය පළ කරයි.