දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් රඳවා සිටි කූඩුවක් කඩා දමා, එහි සිටි 32 දෙනෙකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසිය වාර්තා කරයි. මෙම සොරකම ඉකුත් දා (ඔක්තෝබර් 04) අලුයම සිදුව ඇත.
සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂවරිය වන එස්.ඒ.ඩී.පී. සමන්මලී මහත්මිය විසින් පෙරේදා දහවල් කාලයේදී මේ පිළිබඳව පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සොරකම් කරන ලද මෙම පරෙවියන් විශේෂ තොගයකට අයත් වන අතර, ඒවා මෑතකදී සත්වෝද්‍යානයට භාර දී තිබූ සතුන් ය.
පොලිස් වාර්තා අනුව, මෙම පරෙවියන් මුලින්ම නීති විරෝධී ලෙස බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබියදී පසුගිය ජූලි මාසයේදී පොලිසිය භාරයට ගෙන ඇත. පසුව, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අගෝස්තු 02 වන දින නඩු භාණ්ඩ ලෙස මෙම පරෙවි තොගය දෙහිවල සත්වෝද්‍යානයට ලැබී තිබිණි.
මෙම සොරකම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෝ සොරකම් කළ පරෙවියන් පිළිබඳ කිසිවක් හෙළි වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
දෙහිවල පොලිසිය මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට වගකිව යුත්තන් සහ සොරකම් කරන ලද සතුන් සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වේ.