කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ 2024 යල කන්නයට අදාළ සියලුම වගා වන්දි මේ වන විට ගෙවා අවසන් බවයි.
2024- 2025 මහ කන්නයේ වගා හානි අභියාචනා වශයෙන් ලද රක්ෂණ වන්දි සුළු ප්‍රමාණයක් ගෙවීමට තිබෙන්නේ යැයිද එම වන්දි මුදල්ද කඩිනමින් ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇතැයි ද ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි .
එයට අමතරව 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් ගංවතුර, නියඟ, වන අලි හානියන්ට ලක් වූ වගාවන් පවතී නම් එම වගාවන්ට ද ජුනි මාසය නිමා වීමට පෙර සියලුම වන්දි ගෙවීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.
මෙහිදී රක්ෂණ මණ්ඩලය සඳහන් කරේ වී, බඩ ඉරිඟු, ලොකු ලුණු, අර්තාපල්, සෝයා, මිරිස්, යන වගාවන් සඳහා ගොවීන් රක්ෂණය වී නොමැති වුව ද, අක්කර 5ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ලබා දෙන බවයි.
එහිදී හෙක්ටයාරයකට රුපියල් 100000 ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම නියමිත අතර 2024 වර්ෂයේ නොවැම්බර් මාසයේ වර්ෂාව හේතුවෙන් වූ වගා හානි සඳහා ගොවීන් 53511 දෙනෙකුට අක්කර 61071ක් සඳහා රුපියල් මිලියන 951ක මුදලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ගෙවා අවසන් කර තිබෙයි.