එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය අද (20) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. සුපුරුදු පරිදි සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
මෙම සංචිතයේ ඇති සුවිශේෂීම සිදුවීම වන්නේ පසුගිය කාලය පුරා උපනායකත්වය දැරූ ශුබ්මන් ගිල් සංචිතයෙන් ඉවත් කර තිබීමයි. මෑත කාලීනව විස්සයි20 පිටියේ පිත්තෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටින ගිල්ට, සිය අවසන් ඉනිම 15 තුළදී එක් අර්ධ ශතකයක් හෝ රැස් කිරීමට නොහැකි වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී තිබේ. ඒ අනුව ගිල්ට හිමිව තිබූ උපනායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් වෙත පිරිනමා ඇත.
කඩුලු රකින්නන් ලෙස සංජු සැම්සන් සහ ඉෂාන් කිෂාන් සංචිතයට ඇතුළත් කර ඇති අතර, ප්‍රහාරාත්මක පිතිකරු රින්කු සිං ද සිය ස්ථානය රැක ගැනීමට සමත්ව තිබේ. ඉන්දීය සංචිතයේ සෙසු පිතිකරුවන් ලෙස අභිෂේක් ෂර්මා සහ තිලක් වර්මා නම් කර ඇති අතර, හර්දික් පාණ්ද්‍යා සහ ශිවම් ඩුබේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ශක්තියක් වනු ඇත.
පන්දු යැවීමේ බලඇණිය ජස්ප්‍රිත් බුම්රා විසින් මෙහෙයවනු ලබන අතර ඔහුට සහාය වීම සඳහා අර්ෂ්දීප් සිං සහ හර්ෂිත් රානා වේගපන්දු බලඇණියට එක්ව සිටිති. දඟපන්දු යවන්නන් ලෙස කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්ති සහ වොෂින්ටන් සුන්දර් සංචිතයට ඇතුළත් කර තිබේ. මෙම ප්‍රබල සංචිතය සමඟින් 2026 ලෝක කුසලාන ජයග්‍රහණය උදෙසා ඉන්දියාව දැඩි සූදානමකින් පසුවන බව ක්‍රීඩා විචාරකයෝ පවසති.