නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ඔසවාතැබීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ “සක්වල” සහ “හුස්මක්” යන වැඩසටහන් වලට වාරණයක් එල්ල විය.
වසර 30කට අධික අත්දැකීම් සහිත දේශපාලන දිවිමගෙහිදී මා විසින් සිදුකළ නොයෙකුත් ජනතා හිතවාදී ව්‍යාපෘති අතරින් වඩාත් මා සිත්ගත් ව්‍යාපෘති දෙකක් ලෙස උක්ත ව්‍යාපෘති ද්විත්වය හැඳින්වීමට කැමැත්තෙමි.
ආර්ථික බංකොලොත්භාවයට පත්ව සිටි මෙරට සුවහසක් දූ දරු කැලට නූතන අධ්‍යාපන අවස්ථාවන් විවර කිරීම වෙනුවෙන් “සක්වල”ත්, කොවිඩ් වසංගත සමයේ සිට පහත බසිමින් තිබූ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්රය රැකගැනීම වෙනුවෙන් “හුස්මක්” ව්‍යාපෘතියත් ඇරඹීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයාගැනීම, අද ඇතැමුන් පවසන පරිදි “එහෙන් ගත්තා-මෙහෙන් දුන්නා” ලෙස කයිවාරු ගැසීම තරම් පහසු වූයේ නැත.
මෙරට සුවහසක් දරු දැරියන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂා කිරීම වෙනුවෙන් සහ එය නූතනත්වයට පත්කිරීම වෙනුවෙන් දෙස් විදෙස් දානපතියන්ගේ ආධාර සොයාගැනීමට වෙහෙස වන්නට අපට සිදුවිය. ඔබේ බදු මුදලින් එකතුවන රාජ්‍ය මුදල්, පාර්ලිමේන්තුව හරහා ලබාගෙන, ඒවායින් යම් ව්‍යාපෘති සිදුකොට, ඒවා උත්සවාකාරයෙන් සමරා මා හට ජනප්‍රියත්වය ලබාගැනීමට අවශ්‍ය නොවූ නිසා, ඔබේ දරුවන් සහ අසරණ රෝගීන් වෙනුවෙන් එලෙස දානපතියන්ගෙන් ආධාර උපකාර ලැබෙන ක්‍රමවේදයක් සකස් කළෙමි.
ඔබේ මුදල් ඉතිරි කළෙමි. ඒ ඉතිරි කළ මුදල් වලින් අද ඇතැමුන්ගේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු ද සිදුවනු උපේක්ෂා සහගතව බලා සිටිමි. එලෙසම “හුස්මක්” ව්‍යාපෘතිය හරහා මේ වනවිටත් සේවය ලබමින් සිටින මෙරට ලක්ෂ සංඛ්‍යාත අහිංසක, අසරණ රෝගීන් දෙස බලා නිහතමානීව සතුටු වෙමි.
මේ සියල්ල මා වෙනුවෙන් නොව, ඔබ වෙනුවෙනි. අප මව්රටෙහි ගාමක බලවේග දෙකක් වන නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය රැකගැනීම වෙනුවෙනි. උක්ත වාරණ තුළින් පීඩාවට පත්වන්නේ මේ බංකොලොත් රටෙහි ජීවත් වන ඔබ ය.
එහෙත් ඔබ විසින් ගොඩනගන අප සියලු දෙනාගේ ආණ්ඩුවක් තුළ, වාරණයට ලක්වූ යහපත් ව්‍යාපෘති තව තවත් ශක්තිමත්ව බල ගන්වා, අපගේ මාතෘභූමිය ලොව හමුවේ ඔසවා තබමි. එතෙක් අපි ඉවසිලිවන්ත වෙමු