සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් ගොනු කළ පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ලබන 09 වැනිදා (බදාදා) කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පෙත්සම අද (ජූලි 07) කැඳවූ අවස්ථාවේදී, එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළව තම සේවාදායකයින් විසින් සීමිත විරෝධතා ගොනු කර ඇති බවයි.
ඒ අනුව, ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. පෙත්සම්කාර පාර්ශ්වයට ද සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ජූලි 09 වැනිදා කැඳවීමට නියෝග කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.