සබරගමුව සරසවි සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සබරගමුව සරසවියේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත පවසනවා.
එහි වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙස තමන් උපදෙස් දුන් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
මියගොස් ඇත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් වන අතර, ඔහු ඇතුළු තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුන්ට මේ දිනවල ඔන්ලයින් මාර්ගයෙන් අධ්‍යාපනය ලබා දෙන බවද, එනිසා ඔහුට විශ්ව විද්‍යාලයට පැමිණිමට අවශ්‍යතාවක් නොමැති බවද උපකුලපතිවරයා සඳහන් කළා.
කෙසේ නමුත්, අදාළ සිසුවා පසුගිය 26 වැනිදා විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවත්, 27 වැනිදා විශ්ව විද්‍යාලයේ අවුරුදු උත්සවයකට සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි ඔහු පවසා සිටියේ.
එම සිසුවාට විශ්ව විද්‍යාලය තුළ නේවාසිකාගාර පහසුකම් නොමැති වුවද, ඔහු තෙවැනි වසර සිසුන් කණ්ඩායමක් සිටි නේවාසිකාගාරයක රැඳී සිට ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බව උපකුලපතිවරයා තවදුරටත් සඳහන් කර සිටියා.
මෙම හදිසි මරණය නවක වදය දීමෙන් සිදු වූවක් යැයි සැක කරන බවට විශ්ව විද්‍යාල සිසුවෙකු කළ පැමිණිල්ලක් මත පොලිසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.