සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ චරිත් දිල්ශාන් සියදිවි නසාගැනීමට හේතුව නවකවදය බවට මේ වනතෙක් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි. මෙම සිදුවීම, විශ්වවිද්‍යාල තුළ නවකවදය මගින් සිසුන්ගේ ජීවිතවලට ඇති කරන බලපෑම පිළිබඳව නැවත වරක් සමාජයේ දැඩි කතාබහක් ඇති කර තිබේ.
චරිත් දිල්ශාන් පසුගිය අප්‍රේල් 29 වනදා ලිපියක් ලියා සියදිවි නසාගෙන තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් CID නවකවධ පැමිණිලි විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
විමර්ශන නිලධාරීන් විසින් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඇතුළු පාර්ශ්ව රැසකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවදය බවය. වැදගත්ම කරුණ වන්නේ, අදාළ සිසුවා විශාදයෙන් පෙළී නොමැති බවද අනාවරණය වී තිබීමයි.
වඩාත් බරපතල ලෙස අනාවරණය වී ඇත්තේ, සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සිටින ඇතැම් උසස් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ සිදුවන නවකවධ සිදුවීම් පිටතට අනාවරණය වීම වැළැක්වීමට කටයුතු කරන බවය. මෙය, නවකවධය පිටුපස ඇති සංවිධානාත්මක ස්වභාවය සහ එය යටපත් කිරීමට උත්සාහ දරන බලවේග පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරයි.
මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් CID නවකවධ පැමිණිලි විමර්ශන අංශයට වාර්තා වී තිබේ. එයින් වැඩිම සංඛ්‍යාව (10කට අධික) සබරගමුවෙන් බවත්, නැගෙනහිර සහ ඔලුවිල් විශ්වවිද්‍යාලවලින්ද පැමිණිලි ලැබී ඇති බවත් වාර්තා වේ.
අදාළ සිද්ධිවලට චෝදනාලත් සිසුන් වැරදිකරුවන් වුවහොත් වසර 20ක සිරදඬුවමකට ලක්වීමටද සිදුවෙයි. විමර්ශන නිලධාරීන් පවසන්නේ, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ඇත්නම් 1997 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටී. මෙය, නවකවදය පිටුදැකීමට රජය ගන්නා පියවරක් ලෙස සැලකිය හැකිය.