ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජනයා දෙමළ පොදු අපේක්ෂකයා හට සිය ඡන්දය ලබා දිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (16) වව්නියාවේ පැවැති ඉලංගෙයි තමිල්අරසු කච්චි පක්ෂයේ විශේෂ කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එහිදී මීට පෙර මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණය අනුව කටයුතු කිරීමටයි එකඟත්වය පළ කර ඇත්තේ.
ඊට තමන් එකඟ නොවන බව ද සිවඥානම් ශ්‍රීධරන් මහතා අවධාරණය කළා.
ජනාධිපති ධුර අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම්, ස්වයං නිර්ණනය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.
ඒ හේතුවෙන් තමන් අදාළ තීරණයට එකඟ නොවන බව ද මන්ත්‍රීවරයා පෙන්නවා දෙනවා.
ඒ අනුව දෙමළ ජනතාවට සිය දේශපාලන අයිතිවාසිකම් සහ අභිලාෂයන් වෙනුවෙන් දෙමළ පොදු අපේක්ෂකයාට ඡන්දය ලබාදිය යුතු බවටයි හෙතෙම අවධාරණය කළේ.
2024 ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හට සහාය පළ කිරීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කළා.
මේ දක්වා පත් වූ ජනාධිපතිවරුන්ගෙන් කිසිවෙක් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා අභිලාෂයන් ඉටු නොකළ හේතුවෙන් දෙමළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටයි, උතුරු-නැගෙනහිර කේන්ද්‍ර කරගත් දේශපාලන පක්ෂ කටයුතු කළේ.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. අරියනේන්ද්‍රන් මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ හක්ගෙඩිය සලකුණෙන්.
මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණ ද මැතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.
ඒ, පූර්ණ බලය බෙදීමකට ජනාධිපතිධුර අපේක්ෂකයන් එකඟත්වය පළ කරන බවට සහතිකයක් ලබාදෙන තුරුයි.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ද පසුගියදා කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව ඔහු නිදහස් කිරීම කටයුතු කළ බව සඳහන්.
මේ අතර මැතිවරණ වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැහැදිලි කිරීමක් සිදු කළා.
“දෙමළ ජාතිකවාදය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් කියලා සිංහල ජාතිකවාදය සිතමින් සිටින අවස්ථාවක, ඊට බලපෑම් කරන්න පුළුවන් ක්‍රමයක් විදිහට මේ ජනාධිපතිවරණ වර්ජනය අපි දකිනවා. මැතිවරණයකදී දෙමළ ජනතාවට හානියක් නොවන අයුරින් ඒ කියන්නේ, දෙමළ ජනතා නියෝජනයක් ලැබෙන අවස්ථාවක ඒක අහිමිකරගන්නේ නැතිව බලපෑමක් කරන්න පුළුවන් එකම මැතිවරණය තමා ජනාධිපතිවරණය.
පාර්ලිමේන්තු මැතිවරණය අපි වර්ජනය කළොත්, දෙමළ ජනතා නියෝජනය අහිමිවෙනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයෙත් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. එහෙම පසුබිමක ජනාධිපතිවරණයේදී තමා දෙමළ ජනතාවට කිසිම අහිමිවීමක් සිදුවෙන්නේ නැත්තේ. මේකෙන් අපිට කිසිම යහපතක් වෙන්නෙත් නැහැ.
සිංහල ජාතිකවාදය විතරක් පිළිගන්න අය තමා මේකට ඉදිරිපත් වෙන්නේ. ඒකීය රාජ්‍ය පිළිගන්නවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් බලතල කප්පාදු කරන්න හදනවා. එහෙම තියෙද්දී, ඒ මතවාදයට බලපෑමක් කරන්න පුළුවන් ක්‍රමයක් තමා වර්ජනය. අපි මේ මැතිවරණයට තරග කළත් දිනන්න බැහැ. ලංකාවේ ඉන්න සමස්ථ දෙමළ ජනයා ඡන්දය දුන්නත් දිනන්න බෑ.