ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස සැලකෙන, ජ්‍යෙෂ්ඨ සිවිල් සේවක බ්‍රැඩ්මන් වීරකෝන් මහතා ඊයේ (ජූලි 06) අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. ඒ මහතා මිය යන විට 94 වන වියේ පසු විය. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා රාජ්‍ය සේවයට අමිල මෙහෙවරක් කළ ඒ මහතාගේ වියෝව රටට විශාල පාඩුවක් බව බොහෝ දෙනාගේ අදහසයි.
වීරකෝන් මහතා 1954 වසරේදී ශ්‍රී ලංකා සිවිල් සේවයට එක් වූ අතර, එතැන් පටන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරමින් සිය අත්දැකීම් සම්භාරය පුළුල් කර ගත්තේය. ඔහුගේ විශිෂ්ට සේවා කාලය සර් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ ලේකම් ධුරයෙන් ආරම්භ වූ අතර, 2002 වසර දක්වාම මෙරට තේරී පත් වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් යටතේ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමේ දුර්ලභ භාග්‍යය ඔහුට හිමි විය.
විවිධ දේශපාලන නායකත්වයන් යටතේ කිසිදු පක්ෂග්‍රාහීත්වයකින් තොරව, වසර ගණනාවක් පුරා රටට සේවය කළ වීරකෝන් මහතා, අගමැතිවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ ලේකම් ධුරය හොබවා තිබීම ඔහුගේ දක්ෂතාවයට සහ රාජ්‍ය සේවය කෙරෙහි වූ කැපවීමට කදිම සාක්ෂියකි