AFC ආසියානු කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන Qualifiers තරඟ අතුරින් කාම්බෝජය සමඟ පැවැත්වුණු දෙවැනි තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (10) සමත් වුණා.
කාම්බෝජය සහ ශ්‍රී ලංකාව පසුගිය 05 වැනි දා මෙහි පළමු තරගය ක්‍රීඩා කළ අතර, එය ගෝල 0-0ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වූ නිසා, ඊයේ ක්‍රියාත්මක වූ දෙවැනි තරගය සමස්ත ප්‍රතිඵලය තීරණය කරනා තරඟය බවට ද පත් වුණා.
මෙම තරඟයේ ආරම්භයේ පටන් දෙපිළෙන් ම ඉතා හොඳ කරට කර තරගයක් නිර්මාණය වූ අතර, එහි දී පළමුවෙන් සාර්ථක වීමට ශ්‍රී ලංකාව සමත් වුනේ තරගයේ 37 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින්.
තරඟයේ පළමු අර්ධය තුළ කාම්බෝජය ගෝල වාර්තා කිරීමට සමත් නොවූ නමුත්, ඔවුන් දෙවැනි අර්ධයේ දී කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සමඟින් පැමිණෙමින් තරඟයේ වාතාවරණය වෙනස් කිරීමට සමත් වුණා.
මෙහි දී කාම්බෝජ ක්‍රීඩක Sosidan Nhean තරගයේ 50 වැනි මිනිත්තුව තුළ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූ අතර, තරඟයේ අතිරේක කාලයේ 08 වැනි මිනිත්තුවේ දී ඔවුන් දෙවැනි ගෝලයත් වාර්තා කිරීමට සමත් වුණා.
කෙසේ වෙතත් තරඟයේ අවසන් තත්පරය තෙක් තරඟය අත් නොහැරි ශ්‍රී ලංකාව වෙනුවෙන් Claudio Mathias විසින් 122වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කරමින් තරඟ සම මට්ටමට රැගෙන ඒමට සමත් වුණා.
මේ අනුව තරඟයේ තීරණය දඬුවම් පහර මගින් තීරණය කිරීමට සිදු වූ අතර, මෙහි දී ශ්‍රී ලංකා නායක සුජාන් පෙරේරා විසින් කාම්බෝජයේ පළමු දඬුවම් පහර අවස්ථා දෙකම ව්‍යර්ථ කිරීමට සමත් වුණා.
මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් Jack Hingert, Oliver Kelaart, Sam Durrant සහ Leon Perera යන සිව්දෙනාම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් වූ නිසා 4-2ක් ලෙස ශ්‍රී ලංකාවට තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා.
මෙම ජයග්‍රහණයත් සමඟින් ම ශ්‍රී ලංකාව 2025 AFC ආසියානු කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් උදා කර ගැනීමට සමත් වුණා