කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු නොකොට, රු. මිලියන 700 ක් වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට 2021 වසරේදී, අමාත්‍ය මණ්ඩල අනුමතියක් ලබාගෙන – කෝප් කමිටුවේදී හෙළිවෙයි.
මෙහීදී,
ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතට පටහැනි බවට නීති හා මුදල් අධ්‍යක්ෂවරු නිරීක්ෂණ ලබා දීමක් සිදු වී ඇත. එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ කෝප් කමිටුවට පවසන්නේ මුදල් අනුමත කිරීම සිදු නොකිරීම නිසා තමන්ට පීඩාවන් ඇතිකලා යැයි කියාය. එසේම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 302ක් වියදම් කළත් අදායම් ලබා ඇත්තේ මිලියන 22ක් පමණයි.
2021 වසරේදී රු. මිලියන 700 ක වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමුකර තිබුණි. එහෙත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වූයේ ඒ සඳහා කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොතිබූ බවයි. එමෙන්ම මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත් වීමක් සිදු නොවූ බවද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීහු කෝප් කමිටුව හමුවේ පැවැසුහ.
මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2022 හා 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 08 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 700 ක මුදලක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමත කරගෙන තිබුණද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඒ සඳහා රු. මිලියන 350ක් නිදහස් කර තිබු බව පැවසුවේය. එමෙන්ම ඉන් රු. මිලියන 302 වියදම් කර තිබු අතර අදායම් ලෙස ව්‍යාපෘතිය මගින් රු. මිලියන 22ක් පමණක් ලැබී තිබු බවද වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේය.
මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති හා මුදල් අධ්‍යක්ෂවරුන් මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීම, කොමිෂන් සභා පනතට පටහැනි බවට ලිඛිතව නිරීක්ෂණ ලබාදී තිබු බව පැවැසුහ. කෙසේ වෙතත් අමාත්‍යාංශ මට්ටමින් තමන් වෙත ලැබෙන නියෝග ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බැවින් මුදල් නිදහස් කිරීමට කටයුතු කළ බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුදල් අධ්‍යක්ෂවරයා පැවසුවේය. තවද මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් අනුමත කිරීම කොමිෂන් සභා පනතට පටහැනි බවට නිරීක්ෂණ ලබාදීම හේතුවෙන් තමන්ට පීඩාවන් සිදුකළ බව කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයා කෝප් කමිටුවට පැවසුවේය.
දිවයිනේ ස්ථාන 35ක මෙම කාබනික පොහොර නිෂ්පාදනය ආරම්හ කිරීම සඳහා මෙලෙස මුදල් ලබාදී තිබුණද මේ වනවිට ස්ථාන පහක ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවද කාරක සභාවේදී අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම අසාර්ථක වූ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් මුල්‍ය වංචාවක් සිදුව තිබේද නැද්ද යන්න පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අදාළ නීතිමය කටයුතු සඳහා අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමට සුදානම් බව පැවසුවේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේය.
මේ අතර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ආවරණ අනුමතියට යටත්ව යැයි සඳහන් කරමින් සේවකයින් සඳහා ස්ථිර නව පත්වීම් ලබා දීම පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.