වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (23) ප්‍රකාශ කළේය.
අද මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, “පසුගිය දිනවල වාහන ආනයනය සීමා කිරීමට රජය සහ මහ බැංකුව අවධානය යොමු කර ඇති බවට වාර්තා පළ වුණා. මෙහි කිසියම් සත්‍යතාවක් තිබෙනවාද?” යනුවෙන් අද දෙරණ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ආචාර්ය වීරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ, “මහ බැංකුවෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ ඒවා සීමා කරන්න. විවෘත කරපු වෙළෙඳපොළ දිගටම විවෘතව පවතීවි. රජයෙත් එහෙම අදහසක් නැහැ. මම දන්න විදිහට එහෙම මම හිතන්නේ නැහැ. ඇමතිතුමාත් ප්‍රකාශයක් කරා එහෙම වෙනසක් කරන්නේ නැහැ කියලා. මේක නැවත සීමා කරනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ ණය ගෙවීමේ හැකියාව අනුව පවතින අවදානම මත යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි මේ අවස්ථාවේ කරලා තියෙන්නේ.” යනුවෙනි.
මේ අනුව, වාහන ආනයන ප්‍රතිපත්තියේ සැලකිය යුතු වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.