අශෝක හඳගම
ලංකා සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා ඇගේ දිවිසැරිය නිමාකර අවසන් . හෙට වන විට ඇයගේ අවමංගල්‍යය කටයුතු සිදු කිරීම සඳහා සියලු දේ මේ වන විටත් සූදානම් කර තිබේ . පසුගිය සමයේ ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ පනහක් අවභාවිතා කළා යැයි මාලනී ෆොන්සේකාට බොහෝ චෝදනා එල්ල වී තිබිණි .
රෝගී තත්ත්වයන් නිසා අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි මාලනී ෆොන්සේකාට ඉන්දියාවේ ආරෝග්‍ය ශාලාවකික් ශල්‍යකර්මයක් සිදු කිරීමට ගෙවිය යුතු මුදල වන රුපියල් ලක්ෂ 150 ට අධික මුදලක් එකතු කර ගැනීමට ජනාධිපති අරමුදලින් කිසියම් සහයෝගයක් ලබා ගැනීමට ඇගේ ළඟම හිතවතුන් පිරිසක් උත්සාහ කර තිබිණි .
මේ සම්බන්ධව පසුගිය පාර්ලිමේන්තු සැසි වාරයකදී ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් පිරිසගේ නම් ලයිස්තුව කියවන අතරවාරයේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ඇයට අපහාස වන ආකාරයට හැසිරෙනු දක්නට ලැබිණි .
මේ සියලු කරුණු පිළිබඳව විමසා බලමින් ලංකාවේ ජ්‍යෙෂ්ඨ සිනමාවේදියෙක් වන අශෝක හඳගමයන් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහන් කර තිබිණි .
අපේ සිනමාවේ ‘නිළි රැජින’ මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ පනහක් අවභාවිතා කළේ යැයි ඇතැමුන් චෝදනා කරනවා. එක් අතකින් රැජිනකට අන්දා ගරු බුහුමනට ලක් කෙරෙන මේ ගැහැණියම, අනික් අතින් හෙරක සේ ගෙන අවමන් කෙරෙනවා. මේ අවභාවිතාව ගැන තරමක් හෝ දන්නා මම ඒ දන්නා දේවල් මෙසේ ලියා තැබීම, දශක පහකට වඩා අපේ සිත් සතන් පිනවූ, හෙට අවසන් ගමන් යන ඇයට හිතේ කහටක් නැතුව සමුදෙන්නට හේතු වේවි.
තම ජීවිතයේ අවසාන භාගයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇයව ඉන්දියාවේ ආරෝග්‍යශාලාවකින් ශල්‍ය කර්මයක් කරවා ගැනීම සඳහා කැඳවාගෙන ගියේ ඇයට ඉතා සමීප හිතවතුන්. එම ශල්‍යකර්මය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ 150 කට අධිකයි. මෙයට ජනාධිපති අරමුදලින් කිසියම් සහයෝගයක් ගත හැකිදැයි සමන් අතාවුදහෙට්ටි හිතවතා ගෙන් විමසා ඇත්තේ රවීන්ද්‍ර රන්දෙනිය යි. සමන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සම්බන්ධීකරණය කර ජනාධිපති අරමුදලින් රුපියල් ලක්‍ෂ පනස් පහක (55) මුදලක් මාලනී වෙනුවෙන් ඉන්දියානු ආරෝග්‍යශාලාවට ගෙවීමට කටයුතු කළා.
ජනාධිපති අරමුදලෙන් පුද්ගලයකුට ලබා ගත හැකි උපරිම මුදල රුපියල් ලක්ෂ 10 යි. විශේෂ තත්ත්වයන් යටතේ රුපියල් ලක්ෂ 30ක් දක්වා අනුමත කළ හැකියි. සිංහල සිනමාවේ නිළි රැජින වෙනුවෙන් රුපියල් ලක්ෂ 55 ක් වෙන් කිරීම පාප කර්මයක්ද? අසල්වැසි ඉන්දියාවේ ලතා මංගේශ්කර්, රවී ශංකර්, සත්‍යජිත් රායි වැන්නවුන් තම ජීවිතයේ අවසාන කාලයේ රජය විසින් රැකබලා ගත් අයුරු මතකය.
මාලිනී ලා නිලි වෘත්තියේ යෙදුණු සමයේ, අපේ සිනමාවේ ඊනියා ස්වර්ණමය යුගයේ, නළු නිළියන් හම්බ කළේ ජනප්‍රසාදය මිස සල්ලි නෙවේ. ඔවුන් තම ජීවිතවල අවසන් භාගයේ දී ගෙවූ දුක්ඛිත ජීවිත ද ගැන අප අසා ඇත. මා දන්නා තරමින්, තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස සිටින සමයේ ලංකා බැංකුවෙන් ණයක් අනුමත කරගෙන ජීවිතයේ අවසන් භාගයේදී තමාගේම නිවසක පදිංචි වෙන තෙක්, මාලිනී ද සිටියේ කුලී නිවසකය.
මාලිනී ගේ අවසන් උපන්දින සැමරුම පසුගියදා සිනේස්ටාර් මූලිකත්වයෙන් නවලෝක auditorium හිදීත් ඊට සමගාමීව ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් නැවත ප්‍රදර්ශනය සඳහා නිදහස් කිරීමෙනුත් පැවැත්වුණා. තම අතීත මතකයන් සමඟ මාලිනී සිනා වෙවී අඬනවා අපි දැක්කා. ඇය එදා සතුටු උනා. ඇගෙන් සතුටු වූ අප ඇයට සතුටින් සමු දෙමු.
-අශෝක හඳගම-