අමාත්‍යාංශ උපදේශක කාරක සභාව යටතේ සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනුකමිටුවක් පත් කර රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් හඳුනාගැනීමට කටයුතු යොදා ඇත.
ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුකාරක සභාව පත් කිරීම සිදු විය.
එසේම චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ, ධර්මප්‍රිය දිසානායක, දිනිඳු සමන්, ගීතා හේරත්, ලාල් ප්‍රේමනාත් සහ මුහම්මද් ෆයිසාල් යන මහත්ම මහත්මීන් එහි සෙසු සමාජිකයින්ය.
රාජ්‍ය සේවයේ පත් කිරීම්, තරග විභාග පැවැත්වීම, විශ්‍රාම යෑම සහ පුරප්පාඩු ඇතුළු රාජ්‍ය සේවයේ අවශ්‍ය අංශ සම්බන්ධයෙන් සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයන් සිදු කර හඳුනාගන්නා යෝජනා අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ලබා දීම මෙම අනුකාරක සභාව විසින් සිදු කෙරේ.