ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ආණ්ඩුව සිය බලය තහවුරු කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ව අයුතු ලෙස භාවිත කරමින් මර්දනයක් දියත් කරන බවයි. ඔහු අවධාරණය කළේ, ආණ්ඩුව තම උපරිම බලය යොදා ගනිමින් රාජ්‍ය නිලධාරීන්ව මෙහෙයවමින් කටයුතු කරන බවත්, මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ආණ්ඩුවේ බලය තවදුරටත් තහවුරු කර ගැනීම බවත්ය.
එමෙන්ම, තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් පවා මර්දනයට ලක් කරන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවේ ක්‍රියාකාරකම් අසාර්ථක වන විට, ඊට එරෙහිව හඬ නගන මන්ත්‍රීවරුන්ට පහර දීමට උත්සාහ කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඔහු උදාහරණයක් ලෙස දක්වා සිටියේ, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරියකට ජාතික ජන බලවේගයේම පුද්ගලයෙක් පහර දී ඇති බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ කාන්තා හිංසනය පිටුදැකීමටත්, කාන්තාවන්ට නිසි තැන ලබා දීමටත් ප්‍රතිඥා දෙමින් බව සිහිපත් කළ නාමල් රාජපක්ෂ මහතා, මෙම පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව අවධාරණය කළේය. ආණ්ඩුව ලබා දෙන “ප්‍රතිඥා” ක්‍රියාවට නංවන්නේද යන්න පිළිබඳව තමන් බලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.