පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විසින් රාජ්‍ය ආයතන හයක සිදුවූ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ සියලු තොරතුරු වාර්තා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ළඟදීම භාර දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
කෝප් කමිටුවේ සභාපති, වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ලංකාදීපයට පැවසුවේ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සබරගමුව විශ්වවිද්‍යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහපොළ භාරකාර අරමුදල සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල යන ආයතන හයේ දූෂණ සම්බන්ධ වාර්තා මෙලෙස භාර දෙන බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉහත ආයතනවල සිදුව ඇති දූෂණ වංචා අතරින් බරපතළ කොටස් වෙනම තෝරාගෙන මෙසේ භාර දෙන බවයි. මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධීන් පිළිබඳව විමර්ශන ආරම්භ කරනු ඇත.
මේ අතර, විවිධ ඉඩම් අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන 17 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට ද තීරණය කර ඇති බව එහි සභාපතිවරයා පැවසීය.
කාබනික පොහොර ගනුදෙනුවට අදාළ වාර්තාවක් ද මේ දිනවල සකස් කරගෙන යන බව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.