මාසික මිල සූත්‍රයට අනුව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදු වීමට නියමිතය. කෙසේවෙතත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු වන බවට තවමත් දැනුම්දී නොමැත.
පසුගිය සති කිහිපයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් දිගින් දිගටම පහළ යමින් පවති.
පසුගිය මාසයට සාපේක්ෂව බොරතෙල් මිලෙහි තවමත් පහළ අගයක් පවතින අතර පසුගිය මාසයේ අවසන් වරට ඉන්ධන මිල ගණන් සංශෝධනය සිදු වූයේ පහත ආකාරයටය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 311කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් 283කි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරුණ අතර එහි නව මිල රුපියල් 319කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 183කි.
ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමාන වන පරිදි IOC සමාගම ද තම ඉන්ධන මිල ගණන් ද පහළ දමනු ලැබීය.
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමනු ලැබීය.
මේ අතර , ලබන මාසයේ සිට සෞදි ආරබිය චීනය වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල දැනට පහළ අගයක් පැවතීම තුළ ලංකාවේ ද ඉන්ධත මිල පාරිභෝගිකයින්ට දැනෙන ගණනකින් අඩු කළ හැකි වේ.
එවන් තත්ත්වයක් තුළ අද (31) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී තෙල් මිල තවත් පහළ යනු ඇති බව විශේලේෂකයින් පවසයි.