හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වමින් සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් අද (30) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
අගෝස්තු මස 07 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය ක්‍රියාත්මක වන අතර, එදිනට පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස විත්තිකරු වන සුදත්ත තිලකසිරි මහතාට නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා (නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත) අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, විත්තිකරු විසින් තම සේවාදායකයාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කර ඇති බවයි. එවැනි අනීතික ක්‍රියා අත්හිටුවීම සඳහා වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරුවරයා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.