මස්කෙළිය පොලිස් වසමට අයත් මස්කෙළිය ලකම් වතුයායේ වතු නිවාස පේලියකට ආසන්නයේ කොටියෙකු මන්දක් සමග අලිගැටපේර ගසක පාමුල සිර වි සිටින බව එම වතුයායේ කම්කරුවන් ඊයේ දින පෙරවරු 06 ට පමණ නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් වෙත දැනුම් දී ඇත. මෙම මන්දට හසුවූ කඳුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට අවශ්‍ය නිසා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඒ පිළිබඳ රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍යවරයා වෙත දැනුම් දී ඇත. පශු වෛද්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ සේවා කටයුත්තක් සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියදී කඳුකර කොටියා මියගොස් ඇත. වනජීවි නිලාධාරින් සැක කරන්නේ මෙම තේ වතුවල සේවය කරන කම්කරුවන් විසින් නිවාසවල සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කිරීම සඳහා රාත්‍රී කාලයේ පැමිණි කඳුකර කොටියා මෙම මන්දට හසුවී එම මන්ද කඩාගෙනවිත් අලිගැටපේර ගසෙහි පාමුල සිරවෙන්නට ඇති බවයි.