ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරීන්ගෙන් 40%ක් පමණ බෝ නොවන රෝගවලින් පීඩා විඳින බවට වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අනාවරණය කළේය. පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙත පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනකට රත්නපුරදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, තවත් 30%ක පමණ පිරිසක් තවමත් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වී නොමැති බවත්, ඉතිරි 30% පමණක් යම් ශාරීරික සෞඛ්‍ය තත්ත්වයක සිටින බවත්ය. ගෙදර දොර ප්‍රශ්න සහ රාජකාරී ගැටලු හේතුවෙන් මෙම බෝ නොවන රෝග තත්ත්වයන්ට පොලිස් නිලධාරීන් ගොදුරු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ, පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය වඩාත් විධිමත් කර, කාර්ය සාධනය ඉහළ නංවා, ඔවුන්ගේ සේවය උසස් රාජකාරියක් ලෙස පෙන්වා අමතර වරප්‍රසාද ලබා දීමට කටයුතු කරමින් සිටින බව වීරසූරිය මහතා පැවසීය.
“පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමුකරලා තියෙනවා. ඒ අවධානයට යොමුකරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා” යනුවෙන් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙම ප්‍රකාශයත් සමඟ, ලබන වසරේදී පොලිස් නිලධාරීන්ගේ වැටුප්වල සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවට ඉඟියක් ලබා දී ඇත.